ඔබටත් අධික ලෙස තරහ යනවද?

අපේ ජීවිතයේ සිදුවෙන විවිධ දේවල් නිසා අපට තරහ එන එක නම් ඉතා සාමාන්‍ය දෙයක්. නමුත් මේ තරහ පමණට වඩා ඇති කර ගැනීමත්, ඒ තරහ හිතේ තබාගෙන (කකාරවමින් තබාගැනීමෙන්) සිටීමත්, නිතර නිතර තරහා ගැනීමත් නිසා ඇතිවන හානිය නම් දරුණුයි.

අධික ලෙස තරහ ගැනීම සහ ඔබේ සෞඛ්‍යය

යම් පුද්ගලයෙකු තමන්ගේ ජීවන රටාව එතරම් සෞඛ්‍ය සම්පන්න ලෙස හැඩගැස්වගෙන නැති නම් ඒ සමග තරහා එන ස්වභාවයත් වැඩි පුර ඇති නම් ඒ සමගම ශරීරයේ ඇති රසායනික ප්‍රතික්‍රියා මගින් හදවතට රුධිරය සපයන රුධිර නාල වල මේද තැන්පත් කිරීමේ අවදානම ඉහළ යන බව කියවෙනවා. තරහා ගන්නා පුද්ගලයින්ගේ දියවැඩියා අවදානමත් වැඩි බව අනුමාන කෙරෙනවා.

නිතර නිතර තරහා ගන්නා අයවළුන් පසු කාලීනව අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නට පටන් ගන්නා බවත් එම අධික රුධිර පීඩනය නිසා හදවතට දිගු කාලීන ලෙස බලපෑම් ඇතිවන බවත් දක්නට ලැබෙනවා. ඒ වගේම අධික තරහ සමග සිරුර තුල විහිදී යන රසායනික ප්‍රතික්‍රියා නිසා අභ්‍යන්තර අවයව වලත් වෙනස්කම් ඇති වීමට ඉඩ ඇති බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ.

දිගින් දිගටම තරහාව සිතේ තබා ගෙන සිටියොත් නම් නිදා ගැනීමේ අපහසුතා, හිසරදය, මානසික අසහනය හෝ ආහාර දිරවීමේ අපහසුතා ආදියත් දැක ගන්න පුළුවන්.

මේ විතරක් නොවේ තරහව සමග කෙනෙකුගේ බාහිර පෙනුමටත් හානි වෙන බව නිසැකවම අප දකිනවා නේද?

තරහ පාලනය

තරහා පාලනය කිරීමට සමහරුන් කරන්නේ තමන්ගේ තරහා යටපත් කිරීමයි. නමුත් මෙය භයානකයි. මේ නිසා සිදුවන්නේ තමනුත් නොදැනම ටිකෙන් ටික තරහ වැඩිවෙමින් අවසානයේ අනපේක්ෂිත මොහොතක මෙම තරහ එළියට පැමිණ භයානක ප්‍රථිපල ගෙන දීමයි. තවත් සමහරුන් තරහ එන මොහොතේම තැන නොතැන බලා එය පිට කර තමන්ගේ සමාජ සම්බන්ධතාත් නැති කර ගන්නවා.

වඩා සාර්ථක වන්නේ තරහා ඇති වීමට තුඩුදුන් කරුණු ගැන ආවේගයෙන් නැතිව බුද්ධියෙන් විමසා බැලීමයි. ඒ වගේම බොහෝ විට තරහා ඇති වූ විට අප ගැටලුවක් ලෙස බලන්නේ අපේ රාමුවෙන් පමණයි. නමුත් මෙවැනි ගැටළු තරහා නැති අවස්ථාවක මැදහත්ව සලකා බලා ගැටලුවේ මූලයට විසඳුම සොයන්න.

රාජකාරී ස්ථානයේ හෝ පුද්ගලික ජීවිතයේ යම් මොහොතක තරහ ඇති වූ වහාම එම ස්ථානයෙන් ඈත් වී තනිවම විනාඩි කිහිපයක් ගත කරන්න

එම තරහ ඇති වීමට හේතුව බුද්ධියෙන් විමසා බලන්න

තමන්ගේ හැකියාව අනුව එම තරහා ඇති වීමට තුඩුදුන් තත්ත්වය වෙනස් කිරීමට හැකිද නැද්ද යන්න පැහැදිළිව දැන ගන්න

තමන්ට එම සිද්ධියට තුඩු දුන් හේතු වෙනස් කල නොහැකි නම් ඒ සිද්ධිය අමතක කර දමන්න

තරහ ඒමට යම් කෙනෙක්ගේ ක්‍රියාවන් මුල් වුයේ නම් ඒ ගැන සුහදව කථා කර ගැටළුව විසඳීමට උත්සාහ කරන්න

එසේ නොමැති නම් අවම වශයෙන් හිතවත් මිතුරෙකුට/මිතුරියකට තමන්ගේ තත්ත්වය ගැන කියා සිත සැහැල්ලු කර ගැනීමත් ඉතා ප්‍රයෝජනවත් වේවි.

දිගු කාලීන සැලසුමක් අවශ්‍යයි…

ඇතැම් අය නිතරම තරහ ගන්නේ නම් දිගු කාලීන ලෙස තරහා පාලන සැලසුමක් ඇති කර ගැනීම ඉතා වැදගත්. මුලින්ම අදාළ පුද්ගලයා තමන්ට නිතර තරහ එන තත්ත්වයක් පවතින බව පිළිගත යුතුයි. ඉන්පසු පහත පියවර අනුගමනය කළ හැකියි.

තමන්ට තරහ ඇතිවූ අවස්ථා ඒ ඒ දිනයන් අවසානයේ දිනපොතක ලියා ගන්න, ඉන්පසු එයට හේතුවත්, එම හේතුව ඔබ විසින් ජීවිතයෙන් ඉවත් කරන්නේ කෙසේද යන්නත් සොයා එසේ කිරීමට පියවර ගන්න

ධනාත්මක අන්තර් පුද්ගල සම්බන්ධතා සහ ගැටුම් සමනය පිලිබඳ උපදේෂක වරයෙකු/වරියකු ගෙන උපදෙස් ලබා ගන්න

මානසික සහනය ලැබෙන යෝග ව්‍යායාම/ භාවනා/ක්‍රීඩා/කලා කටයුතු ආදියෙහි යෙදෙන්න

උපේක්ෂා සහගත ලෙස ගැටළු දෙස බැලීමට පුරුදුවන්න

අනෙකුත් අයගෙන් තමන්ට සිදු විය යුතු දේ ගැන අධික බලාපොරොත්තු නොතබන්න

මේ ආකාරයෙන් තරහ පාලනය මගින් ඔබට මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යාමට හැකි වනවා වගේම මනා සමාජ සම්බන්ධතා තුලින් ජීවිතයේ සාර්ථකත්වය වෙත යාමටත් මඟ පාදෙන බව නිසැකයි.

Don`t copy text!